Tuesday, October 24, 2017

කුරුදිවයිනේ සිට කරකොළ නොකන අපි............



අභිදෙව්යා නම් වූ මිහිකත මාතාව  අපට තවමත් කරුණාවන්ත වෙයි.ඇයගේ තුරරුල්ලේ වනඖෂධ හා වනආහාර නිතැතින් දලුලයි.එනමුත් බොහෝ ඇත්තන් ඒ දෙස බලා සුසුම් හෙලනවා  විනා ඒවා පිළියෙළ කොට අහාරයට  ගැනීමට මැලි වෙයි.  නුතන සංකර අහාර රටා අනුගමනය කරමින් නිරන්තරයෙන් රෝගී වී බෙහෙත් පෙති ගිල දමති.එම රෝග වලින් මිදී නිරෝගී සැහැල්ලු දිවිපෙවතක් ගෙවිමට නොසිතන්නේ මානව පරිණාමයේ දෝෂයක් නිසාද යැයි මට සිතේ..

බොහෝ දෙනා කැලෑ  කොළ ලෙස නම් කර ඇති එක් වටිනා පලාවක් වන නැතහොත් බත් ගසක් වන කර කොළ පිලිබද අපට අසන්නට ලැබෙන්නේ අද ඊයෙ සිට නොව
අප මහා බෝසතානන් වහන්සේ පාරමී පුරන සමයේ සිටය.ආකීර්ති ජාතකය එයට හොද නිදසුනකි.එහි සදහන් අන්දමට කිර්ති තාසතුමා ලෙස පාරමී පෙරූ අප බෝසතාණෝ එදා “ කුරු දිවයින” ලෙසින්  හැදින්වූ ලංකාදීපයට වැඩම කොට ,කර කොළ අනුභව කොට ඇති බව සදහන් වේ.එකල කරකොළ බහුල දිවයින කුරු දිවයින වුවා . කරකොළ ගස්‌වලින් සපිරි බැවින් කාරදීපයද ලෙසද අප  රට හදුන්වා ඇත.








එමෙන්ම අප රටේ මුලාශ්‍ර වලසදහන් පරිදී දුර්භික්‌ෂ කාලයක්‌ පැවැති අවස්‌ථාවේදී මහ රහතන් වහන්සේලා කරකොළ ආහාරය සඳහා වළඳමින්  වනේ පර්වත වල වැඩසිට ,බුදුදහම  සුරැකි බව සදහන් වේ.මෙහි පෝෂණ ගුණය ඉහල බැවින් පන නල රැක ගෙන දුර්භික්ෂය අවසන් වන තුරු සිටිය හැකිව ඇත.


                                 


                                 කර කොලයේ පැටිකිරිය....


   Rubiaceae කුලයට අයත් Canthium coromandelicum යන උද්භිදය  " කර කොළ  " නමින්             හෑදින්වේ.
                      
                       නාමකරණය

                      ඉංග්‍රීසි: Carry cheddi
                      සංස්කෘත:ගංගේරුකි,නාගබලා
                      දමිළ: මුල්ලුකාරෙයි
                       හින්දි:කිර්මා
                      මලයාලම්:කන්ටන්කාර


දේශීය ශාකයක් ලෙස නම් කර ඇති කර ගස ඉන්දියාවේ,ඉන්දු මැලේසියා සීමාවෙ හා සදාහරිත වනාන්තර වල හොදින් වැවෙන, අතු බෙදෙමින් වැඩෙන, මීටර් 5  පමණ උස යන කටු සහිත පදුරකි.
ජුලි මාසේ සිට මාර්තු දක්වා පල දරන අතර එය පළතුරක් ලෙස ආහාරය ගත හැකිය.මෙම ශාකයේ කොළ,මල්,ගෙඩි,හා මුල් ආදී සියලු අංග ඔසු පිණිස ගනී..සෙම වඩවයි.පිත හා වාතය සමනය කරයි..




               කර ගස ඔසුවක් වන්නේ කෙසේද??


 කොළ:     කටුවක් ඇනුණු විට එය ඉවත් කර ගැනීමට කොළ තම්බා බැදිම සිදු කරයි.

     පණු රෝග සදහා කුඩා ළමුන්ගේ සිට   වැඩිහිටියන් දක්වා ආහාර ට  දිය හැකිය.
     දද හා හමේ රෝග සදහා යොදාගනී.
     පෝෂණ ගුණ ඉතාමත් ඉහල බැවින් ආහාරට සුදුසුය.
   කොළ යුෂය මුත්‍රා කාරකය.

   


 කොළ හා මුල්:   අතීසාරය,මුත්‍රා   අඩස්සිය,සුදයාම,උන ආදී රෝගවලට ගුණය,ගිලන් බව නැති   කරයි.සර්ප දශ්ටනයේදී යොදාගනී,කෘමි විසට ද යහපත්ය.

පොතු:  කහ ,දෙහි සමග අබරා ඔලුවේ කැක්කුමට ගල්වීමට භාවිතා කල හැක.

ගෙඩි:  පණු රෝග වලට ,සෙම හා පිත සමනය  කිරීමට යහපත්ය .

 කර ශාකයේ සම්පුර්ණ අංග :   දකුණු තමිල්නාඩුවේ දියවැඩියාව සදහා ප්‍රතිකාර කිරීමට සාර්ථකව යොදාගනී ,තවද  ලිංගික දුර්වලතා,ශුක්‍ර වර්ධනය,මුත්‍රා ගල්, යන රෝග වලටත්  උන,අතීසාරයටත්,මල බද්ධ්යටත්  ගුණදායකය.
අධිරුධිර පීඩනයෙන් පෙලෙන්නන් සදහා ද සිරුරේ අනවශ්‍ය මේදය දහනය කිරිමටද ශාකයේ සියලු කොටස් යොදාගත හැකිය.


මෙහිදී තවත් වැදගත් ලක්ෂණයක් වනුයේ සිරුරේ ශ්‍රෝතස් (එනම් ජල මල,රක්ත ,ආහාර ගෙනියන  මාර්ගයන්) හොදින් පිරිසිදු කිරිමට කර ශාකයට ඇති හැකියාවයි.එබැවින් නිරෝගී කම පවත්වා ගෙන යාමට හිතකරය.


                                        කර කොලයේ රසායනය....



කරකොල වල රසායනය පිළිබද සලකා  බැලුවිට Stigmasterol,cholesterol,Ergastrol  යන Steroids තුන බහුලව ඇතිබව පෙනීයයි.


                                 කරකොල පිළිබද  නවීන මතය 

නවීන වෛද්‍ය විද්‍යාවේ අවධානයට යොමුව ඇති මෙම ශාකයේ


තුවාල හා වණ සුවකිරීමේ හැකියාව (wound healing) 

දිලීරනාශක ගුණය  (Anti fungal activity)

බැක්ටීරියා නාශක ගුණය(Antibacterial activity),

පිලිකානාෂක ගුණය(anticancer activity)

ප්‍රතිඔක්සිකාරක ගුණය  (antioxidant properties)

HIV රෝගය සුවකිරීමේ හැකියාව (anti – HIV activity)


 පිළිබද පරීක්ෂණ මගින් තහවුරු වී ඇත.




 කර කොල අහාරයට ගෙන නිරෝගී වෙමුද??




  • තෙලෙන් බැද පපඩම් මෙන් කර කොලය ආහාරයට ගත හැකිය
  • තවද මැල්ලුම් හෝ ව්‍යන්ජනයක් විදියට උයාගත හැකිය
  • ඉතාමත් ප්‍රනීත මැල්ලුමක් පහත සදහන් විධියට සාදා ගෙන රස බලන්න.



                                                          කරකොළ මැල්ලුම







අවශ්‍ය ද්‍රව්‍ය
කරකොල මිටි 3
ගාගත් පොල් ගෙඩි භාගයක්
රතුළුනු/ලොකු ළුනු
අමුමිරිස්
පොල්තෙල් හෝ තල තෙල්
ලුණු



සාදන ක්‍රමය:
සෝදා පිරිසිදු කරගත් කරකොල සිහින්ව ලියාගන්න.පසුව ලියාගත් රතුළුනු,උම්බලකඩ ,අමුමිරිස්,හා පොල් කරකොල සමග මිශ්‍ර කරන්න. පොල් තෙල් ලිප තබා රත්වූ පසු,රවුමට ලියාගත් ලොකු ලුණු කැබලි කිපයක් දමා,රන්වන් වූ  පසු මිශ්‍රණය තෙලට දමන්න. වැඩිපුර හැදීගැමෙන් වලකින්න.



කර කොළ හුදෙක් පලාවක් හෝ ඔසු ශාකයක් පමණක් නොවේ,විටමින් වර්ග බහුල පෝෂණ  අතිරේකයකි.
එබැවින් ළමයින් ට හා වෙහෙස වන වැඩිහිටියන්ට ඉතාම යහපත්  ශක්තිජනක ආහාරයකි(tonic).




Friday, July 29, 2016

කෂායක් නිවැරදිව සදා ගනිමු....


          "  වගපුල් ඉගුරු හෙළලුහුණුද දළුව මු                   ල 
            මේ සියල් සමව ගෙන අටිනෙක පිසූ ජ              ල
            දුන්කල් සියලු සෙම් රෝග නැසේ නොපැකි       ල
            එමකල් ලේහ කළ වැනි තිකුළු  දොඩැඹු            ල  "

මෙය  සෙම් රෝග සුවය සදහා බාවිතා කරන ගුණැති කසායක්  වන අතර ,අද අප ඔබ දැනුවත් කිරීමට සිතුවේ කසාය  හා රෝග සුවය අතර ඇති සබදතාව හා එහි වටිනාකමයි.එනමුත්  අද  සමාජයේ බොහෝ දෙනා කසායක් නිවැරදිව  සකස් කිරීමට නොදත්තෝ ය.එබැවින් කසායක් යනු කුමක්ද ,එය සකසා ගන්නේ කෙසේදැයි දැනුවත් වීම වටි..






දවස පුරා වෙහෙස මහන්සි වූ  ගොවියා  ගෙදර විත්  ඇග පතේ රුදා දුරලා ගැනීමට පානය කරන්නේ බැවිල සුදු ලුණු කෂායකි,නැතහොත් වෙනිවැල් ගැට කෂායකි.

එමගින් ඔවුනට ඉක්මන් සුවයක් ලැබෙන අතර   මනසටද සුවයක් ලැබිණි. ඔවුන් එදිනෙදා  අත් බෙහෙත් ලෙස ගත හැකි කසාය වට්ටෝරු රාශියක් පරිහරණය කලෝය.


 දේශීය  වෙදකමේ හා  ආයුර්වේද වෛද්‍ය ක්‍රමය රෝග සුවය සදහා ඉතාමත් ඉවහල් වන කෂාය,පානය තුලින් පුද්ගලයන්ගේ රෝග සුව වනවා පමණක් නොව ප්‍රතිශක්තිය වර්ධනය වේ.කෂාය තිත්තය ,,,බිමට අපහසුය යන්න බොහෝ දෙනා දරන මතය වේ.නමුත් අපගේ ප්‍රතිශක්ති පද්ධතිය උත්තේජනය වනුයේ තිත්ත රසයෙනි.එමනිසා තිත්ත රසය ඉවසිය යුතුය.


කසාය බිමෙන් වකුගඩු රෝග,අක්මා රෝග  ඇති වේ ය යන සමාජ දුර්මතය නිසා  බොහෝ දෙනා කෂාය බිමට බිය වේ.නියමිත මාත්‍රාවෙන් වෛද්‍ය උපදෙස් පරිදි ගන්නා කසාය කිසිම ආකාරයක  අතුරැ ආබාධ ඇති නොකරයි.,වර්තමානයේ කසාය හැලියක් ලිප තබා ගැනීමට බොහෝ දෙනා මැලි වේ.නමුත් වෙදකමේ ජීවනාලිය බදු කසාය,රෝග සුවය සදහා යොදන අනිවාර්ය අංගයකි.



කෂායක් යනු කුමක්ද??


ශාකවල මුල්,පොතු,ඇට,මද ,මල් ආදිය ප්‍රමාණාත්මකව කිරා ,පිරිසිදු කර ,ජලය යොදා සිදුවා ගන්නා විට ශාක ද්‍රව්‍ය වල ගැබ් වූ  මධුර,අම්ල ආදී රසයන් එකතු වී කසායක් සකස් වේ. (ශාක නොවන ද්‍රව්‍යද කසාය සදහා යොදා ගනී). වෛද්‍යවරයකු යම් රෝගයක් සදහා ලබා දෙන ප්‍රතිකාර පද්ධතියේ ,පත 8 එකට සිදුවා පානය කරන ලෙස නියම කරන වට්ටෝරුව පොදුවේ ජනයා කසාය වට්ටෝරුව හෙවත් කසාය සීට්ටුව ලෙස හදුන්වයි.වඩියක් යනු එක දවසකට පානය කල යුතු ප්‍රමාණයයි.  උදා:වඩි 5= දින 5.  


       භෝජ සෘෂිවරයාගේ මතය අනුව,

       1.බොන  කසාය (පාන කසාය)
      2.මුව දෝවන කසාය (ගන්ඩුෂ කසාය)
      3.පැන් කසාය
      4.ස්නානයට හා සේදිමට යොදාගන්නා කසාය(ශේක)
      5.ඇස්තෙමන කසාය       (ආශ්චෝතන කසාය)
      6.දාහයේදී නිතර යෙදෙන කසාය  (සංශ්‍රය කසාය)
      7.කැද පිසිය යුතු කසාය  (පේයා)
      8.වණ සෝදන කසාය  (ව්‍රණ ප්‍රක්‍ෂාලන).                               9.තෙල් පිසින කසාය (ස්නේහ කසාය)
     10.උණු පැන් කසාය  ( උෂ්ණෝදක  කසාය  )
         ලෙස කසායන් විවධ වේ.



මෙහිදී අප වැඩිපුර භාවිතා කරන පාන කසාය , සැදීමේදී පිරිසිදු ඇල් ජලය යොදා ගන්නා අතර  ජලය වෙනුවට තැබිලි වතුර යොදා ස්වර්ණ සන්නීර කසායද, කිරි යොදා   ක්ෂිර කසායද  රෝගය අනුව පිළියෙළ කර ගනී.


  කෂායක බර කොපමණ වේද?


සාමාන්‍ය වැඩිහිටියෙකුට  එක් වරකට  සිඳීනු  ලබන කසායකට කලං 12ක්  අඩංගු වේ.කුඩා ළමයෙක් සදහා කලං 6ක් ගත යුතුය.කළදක් යනු ග්රෑම් 5කි.එනම් කසායක බර ග්රෑම් 60කි.


කසාය කලං මන්චාඩි වලින් මනී.  මන්චාඩියක් යනු මදටිය ඇටයක බරයි. කලදකට මංචාඩි 20කි.කසායට යොදනා ද්‍රව්‍ය ප්‍රමාණය අනුව කලන් මංචාඩි ප්‍රමාණය වෙනස් වේ.කසාය සිට්ටුවේ කලං, මංචාඩි ප්‍රමාණ වෛද්‍ය වරයා විසින් ලියනු ලැබේ.




  කෂායක් නිවැරදිව සිදින්නේ කෙසේද??



     කලං 12 ක් බරැති ,කසාය මුල, මැනවින් පිරිසිදු   කොට ,ඇනයක් ගැට ගැසූ (අමනුෂ්‍ය          දෝෂයන්ගෙන්  ආරක්ෂා වීම සදහා) මැටි            මුට්ටියක ට දමා වතුර පත 8ක් දමා, මද                ගින්දරින් 8 එකට සිදුවා ගත යුතුය.


 පිරිසිදු රෙදි කඩකින් එය පෙරා අනුපානයන් සමග    පත භාගයක් පානය කල යුතුය.වැඩිහිටියන් සදහා 8  ,එකටත් ,,ළමයින් සදහා 4  එකටත් හෝ 2 එකටත්  සිදුවයි.

වතුර පතක් යනු  මිලි 240කි.එනම් තේ බිමට ගන්නා අඩු කෝප්පයක ප්‍රමාණයකි. අඩු  කෝප්ප 8ක  ජලය සාමාන්‍යයෙන්  කසායට යොදයි. පත භාගයක් යනු  මි.ලි 120කි.

කසාය  සැදීමේදී මැටි මුට්ටිය  ප්‍රශස්තය.

දර දීමේදී කොස් දර පොල් කටු වැනි සැර දර යෙදිම නුසුදුසුය.කසාය හැලිය විවෘතව තබා වරින් වර පරීකෂා කරමින්  කසාය තම්බා ගත යුතුය.


 කෂාය පානය කළ යුතු ආකාරය කෙසේද?



දොස්  කිපෙන හෙයින් රාත්‍රියට කසාය පානය නොකරයි. උදේ 6 -සවස 6., ආදී  ලෙස වෛද්‍ය වරයා විසින් කසාය බොන වෙලාව සදහන් කරනු ලැබේ. කසාය කෑමට ප්‍රථම හෝ පසුව ගත හැක ,කසාය පානයෙන් පසු  විනාඩි 10-15 ක විවේකයක් ගත යුතුය.කසාය බොන දින වලදී තෙල්,ඇඹුල් අහාර ගැනීමහා ස්නානය නොකළ යුතු නම් වෛද්‍ය වරයා විසින් ඒ බව රෝගියාට පවසනු ඇත.

කසායක් පානයෙන් පසු හුණු කෑම,කිරි ,බුලත්,වෙනත් සාන්ද්‍ර යුෂ වර්ග නොගත  යුතුය. එය බෙහෙත ශරීරයට උරා ගැනීමට බාධාවකි.
ජලය පානය නොකොට ජලයෙන් කට සේදිම පමණක් කල හැකිය.

 අනුපාන  යනු මොනවාද??


  "" සිනි හා මී පැණි යොදා පානය කරන්න”’,යනුවෙන්.කසායක   සදහන් කරන්නේ අනුපාන පිලිබදවයි.
අනුපාන යක් මගින් කසායක අමිහිරි රසක් තිබේ නම්  එය නැති කරන අතර ,කසාය  ශරීරයට උරා ගැනීම පහසු කරයි.සුවදක්,වර්ණවත් බවක්,  හා කසායේ ගුණ  වැඩි  කරයි.ප්‍රධාන ඖෂධ වල ආසාත්මිකතා ඇත්නම් ඒවා නැති කරයි.

සිනි,මි පැණි,එඩරු තෙල්,සහිද ලුණු,උක්පැණි,ඇඹුල් දොඩම්,දෙහි,තිප්පිලි කුඩු,පෙරුම්කායම් බහුලව බාවිතා වන  අනුපාන වේ.අනුපාන යොදන ප්‍රමාණයක් ඇත.තේ හැන්දක්,අබ ඇටයක ප්‍රමාණය  ,බිලාල පාදයක ප්‍රමාණය(අතේ ඇගිලි 3කට අසු වන ප්‍රමාණය),බින්දු  ලෙස මාත්‍රාවන් සදහන් කරයි.
එක් එක් රෝගියාගේ ශරීර ශක්තිය ,රෝග තත්වය ,අපේක්ෂිත ප්‍රතිපල අනුව සුදුසු අනුපානය වෛද්‍ය වරයා විසින් නිගමනය කරයි.


වර්තමානයේ දී  බොහෝ රෝගීන් පැමිණ පවසන්නේ ගෙදරදී බෙහෙත් සාදා ගැනීමට නොහැකි බවය.බෝතල් කළ කසාය(ක්වාථ) පානය කිරීමට ( වෙළද පලෙන් මිලදී ගැනීමට හැකිය.)බොහෝ සෙයින් නැබුරු වී ඇති  අතර ඒම බෝතල් කසාය පානය කරනවාට වඩා  කසායක්  ගෙදරදී  සිඳුවා ගෙන පානය කරන්නට හැකි නම් ඉතාමත් උචිතය.
අප සදහන් කල ආකාරයට නිවැරදිව කසායක්  සාදා ගෙන පානය කිරීමෙන්  රෝගයේ සුවය කෙටි කාලයක් තුල  ලැබේ.

කසායක් යනු  හුදෙක් ස්වභාවික ද්‍රව්‍යන්ගෙන් නිස්සාරණය කොට  ගන්නා  පානයක්මය.එහි කෘතීම රස හා වර්ණ කාරක අඩංගු නොවේ.
           
                                  


 සොබාදහමට සමීප උන පුද්ගලයා  සැමවිටම නිරෝගීය....




චායාරුප  සදහා විශේෂ ස්තුතිය:බණ්ඩාර වරකාගොඩ මහතා

Tuesday, July 19, 2016

සොබාදහමට සමීප වෙමු- සෘතු චර්යාව






අප ජිවත් වන ලෝකයේ ජීවී  අජීවී සමස්ථයටම  සෘතු විපර්යාසය බලපායි. සෘතු චර්යාව යනු එක් එක් සෘතුනට අනුව ජිවන චර්යාව සකසා ගැනීම වේ.අපරදිගයෝ සෘතු 4ක් අනුගමනය කරති.එනම් වසන්ත(Spring),ග්‍රීෂ්ම(Summer), ශරත්(Autumn),ශීත(winter) කාලයන්ය.

පෙරදිගයන්ට අනුව අවුරුද්දට සෘතු 6කි.
                   1.වසන්ත = බක් /වෙසක්
                   2.ග්‍රීෂ්ම  = පොසොන්/ඇසළ
                   3.වර්ෂා = නිකිණි/බිනර
                   4.සරත් = වප්/ඉල්
                   5.හේමන්ත = උදුවප්/දුරුතු
                   6.ශිශිර = නවම්/මැදින්


මිනිසා ගන්නා වූ අහාර පාන ආදිය හේතුවෙන් මිනිසාගේ ආයුෂ ,බල,වර්ණය ,ආදිය වර්ධනය වේ. වර්ෂා හා  ග්‍රීෂ්ම කාලය ශාරීරික හා මානසික වශයෙන් මිනිසුන් දුර්වල කෙරේ. සරත් ,වසන්ත කාලයේ මධ්‍යම බලයක්ද  , හේමන්ත /ශිශිරයේ වඩාත් වැඩි බලයක්ද  පවතී.

                                       1.වසන්ත කාලය




පිපුන  මලින් හා පලතුරෙන් අවකාශය පිරීයන කාලයයි.අප රටේ නම් අටු කොටු සහලින් බරවන සමයයි.රට වැසියන්ගේ සිත් ප්‍රබෝධමත්  වන කාලයයි.උද්‍යාන වල  සැරිසැරිම  හා විනෝද ගමන් සදහා උචිත වූ කාලය මෙයයි.

හේමන්තයේ  රැස්වූ  සෙම කෝප වී සිරුරේ රෝග උපදවාලන බැවින්,ධූම පානය(ඖෂධීය),අදුන් ගෑම,උණු දිය භාවිතය,සුදුසුය.දහවල නිදීම සුදුසු නැත.
මේ කාලයේ පැපොල,සරම්ප ,පිඩකා සහිත වසන්ත රෝග හට ගනී.එම නිසා බෝවන රෝග වලින් මිදීමට ,සනීපාරක්ෂක  ක්‍රම  අනුගමනය කල යුතුය.


අල්ප මද්‍යසාර භාවිතය හා ඉගුරු තම්බා ගත් ජලය පානය  යෝග්‍යය.
ව්‍යායාම  හා ජල ක්‍රීඩා සදහා සුදුසු කාලය මෙයයි.අගිල් ,කපුරු ,සදුන් ආලේප කර ස්නානය සුදුසුයි.කැවිලි වර්ග,ඇබුල් ආහාර,පැණි රස අහාර ගැනීම යහපත්.

                                          


                                          2.ග්‍රීෂ්ම කාලය




මේ කාලයේදී සුර්ය කිරණ කෙලින්ම පොලවට පතිත වෙන කාලයකි.පරිසරයේ වියලි ස්වභාවයක් දක්නට ලැබේ.සෙම  වියලී  ,වා පිත් කෝප වේ.
එබැවින් මත්පැන් පානය,ව්‍යායාම,කුළුබඩු  යෙදු  ආහාර,  අච්චාරු වැනි අම්ල අහාර,කරවල වැනි ලවණ අහාර ගැනීම සුදුසු නොවේ.
සිනි සහිත මීකිරි ,කොමඩු වැනි පලතුරු  ආහාර  මිහිරි දියාරු සිනිදු ආහාරයෝ ඉතා  යහපත්ය.
ළිං ජලය ස්නානය හා  කුබුක් ගස්  ආශ්‍රිත  සිසිල් ජලයේ  සිරුරේ උණුසුම පහවන තුරු ගිලි නෑම යහපත් වේ.
මත්පැන්,ව්‍යායාම,දහවල නිදීම,උෂ්ණාධික නිවෙස් 
වල විසීම අයහපත්ය. වියලි දුවිල්ල වැඩි හෙයින් දහවල නිවෙස් වල වා කවුළු වසා රාත්‍රියට ඇරිය  යුතුය.



මේ කාලයේ දද, දහදිය බිබිලි වැනි  හමේ රෝග  ඇතිවේ.
දහදිය බිබිලි සදහා රත්මල්,ගන්සුරිය ,පින්න ආදී කොළ තම්බා ස්නානය සුදුසුය.රෙදි කඩක් තෙමා ශරීරය වරින් වර පිස දැමීම සුදුසුයි.

වද මල්,බෙලි මල්,රණවරා ආදී ඖෂධීය පානය ඉතා සුදුසුය.
තේ ,කෝපි වර්ජනය කරන්නේ නම් මැනවි.



                                              3.වර්ෂා කාලය




ඇළ දොළ ජලයෙන් පිරි යන කාලයයි . බඩගින්න  අඩු වන අතර ,එබැවින් ශරීරය දුර්වල වේ.වර්ෂාව ,බිමින් නගින ජල වාෂ්ප හේතුවෙන් වා පිත් සෙම් ආදී වූ තුන් දොස කිපී යයි. එමනිසා දිය මුසු ආහාර,(කොමඩු,මීකිරි) ,ශීත ආහාර  අනුභවය,දහවල් නින්ද,ව්‍යායාම,අවුවේ ගමන් යෑම,ආදී  දේ අහිතකරය.



 වැසි සහිත සිතල දින වලදී ශරීරයේ අග්නිය සුරකිමට,අම්ල,ලවණ බහුල ආහාර ගැනීම,උණුදිය භාවිතය සුදුසුය.පවිත්‍ර  සියුම් වස්ත්‍ර ඇදීම හා කහ ඇග ගැල්විම සුදුසුය.බුදු දහමේ පවා මේ කාලයේදී  භික්ෂුන් සදහා පරිහරණයට ,”” වැසි සළුව” නම් වෙනම රෙදි කඩක්  නිර්දේශ කර ඇත.දහවල වා කවුළු වසා තබා රාත්‍රියට ඇරිය යුතුය.

 ළිං ජලය හා වර්ෂා ජලය උණු කොට පානය කල යුතුය.සෙම් රෝග වලින් ආරක්ෂා විය යුතුය.



                                                 4.සරත් කාලය




ගස් වැල් මලින් බරය ,අහස වලාකුළු වලින් බරය.රුක් අත්තන  මල් පිපි සුවද හමන කාලය මෙයයි.මේ කාලයේ විශේෂ ලක්ෂණය  නම් ,වර්ෂා කාලයේ රැස් වූ පිත සරත් කල  ප්‍රකාශයට  පත් වීමයි.එබැවින් පිත  සංසිද  වන අහාර හා විහරණ මගින් පිත් රෝග සැදීමෙන් ආරක්ෂා විය හැක.
මිහිරි වුත් කසට වූත් අහාර පාන ගැනීම හා
ඔසු පැන්,බාර්ලි ,සවි  පානය විශේෂයෙන් කිතුල් පිටි කැද යහපත්ය.සැවන්දරා ,සුදු හදුන් යෙදු ජලය ස්නානය කුබුක් පොතු /කොලොම් කොළ අබරා ඇග ගල්වා ස්නානය යහපත්ය.


රාත්‍රියේදී සද රැස් සේවනය  යහපත් වේ.


නෙලුම් මල් පිරි වැව් ජලය ස්නානය,නෙලුම් අල,කෙකටිය ,කොහිල වැනි ජලය ආශ්‍රිත අහාර ,පලා වර්ග වැඩිපුර අහාරයට ගැනීම,ජලජ මාංස,දීකිරි ,ගිතෙල් අහාර යහපත්ය.
පිරිසිදු ඇදුම් ඇදිය යුතුය.අවු රැස්   සේවනය අයහපත්ය.





                                        5.හේමන්ත හා ශිශිර කාලය




සිසිල් සුළන් හමන කාලයකි.දහවල කෙටිය.අහාරය වේගයෙන් දිරවයි.ශරීරය වියලි වන අතර ,සිතල වායුව වාත කෝප කරවයි.මාංශ වර්ග ගිතලෙන් පිස,අම්ල,ලවණ රස යොදා  අනුභව කරන්න.පැණි රස , එළකිරි ,හකුරු ,මි පැණි, තෙල්  භාවිතය,අලුත් සහල් බත්  හා  උණු දිය පානය යහපත්.
මේ  කාලයේදී  ඖෂධිය  තෙල්  ඇග  ගල්වා සම්බාහනය කිරීම,අවුව තැපීම,උණුසුම්  ගෙවල් වල විසීම හා  ඝන ඇදුම් උචිතය.
එළිමහනේ ව්‍යායාම කිරීම,අලුත්  ධාන්‍ය,පලා වර්ග  සුදුසුය.


අප බොහෝ දෙනා රෝගී වන්නේ වැරදි  ආහාරපාන  හා විහරණ නිසාය.එබැවින් එක් එක් සෘතුන් හිදී  ඒ  ඒ සෘතු  චර්යා අනුගමනය කිරීමෙන් රෝග බොහොමයක් වලක්වා ගත හැක.ආයුර්වේදය යනු  මිනිසාගේ නිරෝගිකම සුරකින විද්‍යාවකි. වර්තමානයේ අප රටේ  සෘතුන්හි විෂමතා පවතී.
විශේෂයෙන් ග්‍රීෂ්මය දරුණු වී ඈත,සිදු වන වන සංහාරය හමුවේ එක් ගසක් හෝ  සිටු වීමෙන් මිනිසාට විදීමට  සිදුවන පාරිසරික අසමතුලිතතා බොහෝ දුරට වලක්වා ගත හැක.