Saturday, July 9, 2016

ආයුර්වේද පංචකර්ම.1 කොටස- කොන්දේ ආබාධ සුවයට වෛතරණ වස්තිය




 වස්ති ප්‍රතිකාරය පංචකර්මයන්ගෙන් එකකි. කුපිත වූ  වාත දෝෂය සමනය කරයි.වස්ති කර්මය වාතයට  කරන ප්‍රධානතම චිකිත්සාවයි. වස්ති කර්මයේ සුවිශේශිත්වය නම්  එය පුද්ගලයකු සදහා සාධ්‍ය ,අසාධ්‍ය ඕනෑම  අවස්තාවක යෙදිය හැක .ක්ෂණිකව ගුණ ලබා දේ.වස්තිය නිරෝගිභාවය ලබා දේ.ශරීර බලය,අග්නිය,වර්ණය,බුද්ධිය වර්ධනය කරයි.වයස්ගත වීමේ ක්‍රියාවලිය ප්‍රමාද කරයි.ආයුෂ වඩවයි.එබැවින් වස්ති කර්මයක් කරගැනීමට කිසිත් බිය විය යුතු නැත.එය  ඉතා වැදගත් ප්‍රතිකාරයකි.


අප වෙත පැමිණෙන ආමවාත හා කොදු ඇට පෙළ ආබාධ සහිත රෝගීන්  පැමිණ මුලින් ම පවසන්නේ ඔවුන්ට දැනෙන වේදනාවයි. කොදු ඇට පෙලේ ඇති වන වේදනාව හා ආමවාත වේදනාව ඉවසීම ඉතා අපහසුය.එබැවින් එසේ පැමිණෙන රෝගීන් සදහා වස්ති කර්මය ඔවුන්ගේ එම වේදනාව බොහෝ දුරට අඩු කිරීමටත් ,රෝගයේ සුවය සදහාත් මැනවින් දායක වේ.අප මෙහිදී යොදා ගනු ලබන්නේ වෛතරණ වස්තියයි.



මෙම වෛතරණ වස්තිය,ගෘධ්‍රසි,කටි වේදනා ,සන්ධිගත වාත,ආමවාත සදහා විශේෂ වූ වස්තියකි.අනෙකුත් චිකිත්සාවන්  සමග  දීමෙන්  එම රෝග නිවාරණයට යුහුසුළුව  දායක වේ.පළමුවෙන් මෙම රෝග පිලිබදව යමක් දන සිටීම වටි.



·    ගෘධ්‍රසි:කොන්දේ ආබාධයක් සහිතව/රහිතව පාදයේ පිටුපසින් පාදය දිගේ පැතිරී  යන වේදනාව සහිත රෝගයයි.(sciatica).මෙම රෝගය  සැදුනු පුද්ගලයා ගිජු ලිහිණියෙකු ඇවිදින ආකාරයට ඇවිදින බැවින් ගෘධ්‍රසි නමින් හදුන්වයි.

·     කටි වාත:යනු  කොන්දේ වේදනාවයි.අන්තර් කශේරුකා මඩල ලිස්සිම (slip disc), බොහෝ විට හේතු වේ.කොදු  ඇට ලිස්සිම (spodiloesthesis),අස්ථි දිරාපත් වීම(osteoporosis),Spondilosis වැනි රෝග අවස්ථාවලදී මෙම තත්වය ඇති වේ.තවද සමහර arthritis තත්වලදී මෙන්ම Scoliosis,Kyposis වැනි රෝගවලදීද කටිවාතය ඇති වේ.

·     සන්ධිගත වාත: සන්දිවල ඇතිවන ප්‍රබල වේදනා තත්වයකි.සන්ධි නැමීම සහ දිග හැරීමේදී වේදනාව වැඩිය.ඉදිමුම තිබීමට හෝ නොතිබීමට පුළුවන.වැඩි වශයෙන් ශරීරයේ බර දරන දණහිස් සන්ධිවල දක්නට ලැබේ.එසේම වැඩි වශයෙන් ක්‍රියාකාරී වන විශාල සන්ධිවල වැඩිවශයෙන් දක්නට ලැබේ.ශරීරයේ බර වැඩි අයට මෙන්ම වයස්ගත වීම හෝ කය වෙහෙසා වැඩ කරන අයට  මෙම රෝගය සැදීමේ ප්‍රවණතාව වැඩිය.


·     ආමවාත: වැරදි අහාර විහරණ නිසා ඇතිවන රෝගයකි.ශරීරයේ කුඩා සන්ධිවල මෙන්ම කුඩා සන්ධිවලද ඇති වේ.සන්ධි ඉදිමීම ප්‍රධාන ලක්ෂණයි.සන්ධිවල වේදනාව සමග රස්නයක් තිබිය හැක.සමහර විට සන්ධිවල බර ගතිය,අහාර අරුචිය,උණ වැනි ලක්ෂණද දක්නට ලැබේ.අවුරුදු 40ට අඩු අය අතර බහුලය.


බොහෝ රෝගීන් වස්ති කර්මයට බිය වෙති.එය වේදනා ගෙන දෙන අපහසු කර්මයක්යැයි චිත්ත රූප මවා ගෙන සිටි.එය වේදනාවෙන් තොරය.වස්තිය ලැබූ පුද්ගලයාට ඉතාමත් පහසුවක් හා සහනයක් ලැබේ.



වෛතරණ වස්තිය


වස්ති කර්මය සිදු කරනු ලබන්නේ වෛද්‍යවරයකු විසිනි.වෛද්‍යවරයා විසින් රෝගියාගේ නාඩි,රුධිර පීඩනය මැන මල මුත්‍රා ආදිය පිටකර ඒමට උපදෙස් දේ.එසේ පැමිණෙන රෝගියාගේ උදරයේ හා ත්‍රිකයේ තෙල් ගලවා සම්බාහනය කොට ස්වේද කරයි.වස්තිය සදහා නිසි ඉරියවුවෙන් තබා,ගුද මුකයේ ගිතෙල් ගල්වා,වස්තිය සෙමින් ඇතුල් කරයි.වස්තිය දිම අවසන් වූ පසු ආතුරයාට උඩුකුරුව සයනය කිරිමට උපදෙස් දේ.එවිට මේ  වෛතරණ වස්තියේ ගුණ මුළු ශරීරයේ පැතිර යයි. ඉන්පසු මල වේගය පැමිණි පසු එය පිටකළ යුතුය.

වස්තිය මැනවින් දරා ගත් පුද්ගලයා හට හොදින් නිදා ගැනීමට හැකි වේ,ශරීරයට සැහැල්ලු බවක් දැනේ.

වෛද්‍යවරයා විසින් නැවත රෝගියා ගේ රුධිර පිඩනය හා නාඩි බලා පැයකින් පසුව නිවසට යෑමට අවසර දේ.නිවසට ගොස් උණු වතුරෙන් ඇග සෝදා විවේකිව පසුවන ලෙසත් සැහැල්ලු ආහාර පාන ලබාගැනිමටත් උපදෙස් දේ.


No comments:

Post a Comment